• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි පරිසර හිතකාමී හරිත ගොඩනැඟිලි ලෙස ඉදිකිරීම හා පවත්වා ගෙන යාම සඳහා වූ මාර්ගෝපදේශ හඳුන්වා දීම
- වර්තමාන සංවර්ධන ක්‍රියාදාමය තුළ විශාල වශයෙන් ගොඩනැඟිලි ඉදි වෙමින් පවතින අතර, ඒවා පරිසර හිතකාමී ලෙස නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ගොඩනැඟිලි තුළ සෞඛ්‍යසම්පන්න වාතාවරණයක් ඇති කරන අතරතුර බලශක්තිය, ජලය සහ අනෙකුත් උපයෝගිතාවන් භාවිතය අවම කිරීම සඳහා 'හරිත ගොඩනැඟිලි' (Green Buildings) සංකල්පය හඳුන්වා දී ඇත. එමඟින් හරිතාගාර වායු විමෝචනය අවම කරගනිමින් බාහිර හා අභ්‍යන්තර වායු තත්ත්වය වැඩිදියුණු කරගනිමින් සෞඛ්‍යසම්පන්න, ප්‍රීතිමත් හා සුවදායී පරිසරයක් බිහි කරගත හැකිය. පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය තුළ නිර්මිත පරිසරය සුවදායී කරගැනීමත්, ඉදි කිරීම් කර්මාන්තය තුළින් පරිසරයට සිදුවන බලපෑම අවම කරගැනීමත් සිදු කර ගත යුතුය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා 2016 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි පරිසර හිතකාමී ලෙස ඉදි කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට යෝජනා වී ඇති අතර, එම වැඩසටහනේ මූලික පියවරක් ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි පරිසර හිතකාමී "හරිත ගොඩනැඟිලි" ලෙස ඉදි කිරීම හා පවත්වා ගෙන යාම සඳහා දැනටමත් කෙටුම්පත් කර ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විමර්ශනය කිරීම පිණිස හා ඊට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.