• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
''රටම එළියයි - අඳුර දුරලයි" ජාතික විදුලි සත්කාරය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය විදුලියන ව්‍යාපෘති යටතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල 100% ක විදුලියන ආවරණයක් ඇති කර ඇත. එමෙන්ම අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම පාහේ 90%කට වැඩි හෝ ඊට ආසන්න විදුලි ආවරණයක් ඇති කර ඇත. 2016 වර්ෂය වන විට 100% ක් විදුලියන ආවරණයක් රට තුළ ඇති කිරීම රජයේ ඉලක්කයයි. එසේ වුවද, නිවාස ඒකක 200,000 ක් පමණ විදුලිය සඳහා ප්‍රවේශය තිබුණද තවමත් විදුලි සම්බන්ධතා ලබා ගෙන නොමැති බව අනාවරණය වී ඇත. මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ විදුලි සේවා සම්බන්ධතාව ලබාගැනීමට අදාළ මූලික වියදම් දැරීමට අදාළ නිවෙස් හිමියන්ට ආර්ථික හැකියාවක් නොමැති වීමයි. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට විදුලිය මූලික අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් විදුලි සම්බන්ධතා ලබා ගෙන නොමැති නිවාස ඒකකවලට විදුලි සම්බන්ධතාව ලබාගැනීම සඳහා රුපියල් 40,000/-ක උපරිමයකට යටත්ව ණය පහසුකම් ලබා දීමටත් සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සමෘද්ධි සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.