• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රණවිරුවන් සඳහා ‘විරුසර' වරප්‍ර‍සාද කාඩ්පත හඳුන්වා දීමේ වැඩසටහන
- ක්‍රියාන්විත සේවයේ යෙදී සිට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සාමය ගොඩනැඟීම වෙනුවෙන් දිවි පිදූ, අතුරුදහන් වූ හා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසීයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්‍ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි 'විරුසර' නමින් වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර ඇත. එමඟින් පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීමේදී සහ සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු, රක්ෂණ හා කල්බදු ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවාවන් ලබාගැනීමේදී ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාගත හැකි වනු ඇත. ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් රණවිරුවන් 50,000 ක් වෙත එම කාඩ්පත ප්‍රදානය කෙරෙනු ඇත. එම වැඩපිළිවෙළ යටතේ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් 5000 ක් දෙනා වෙත එම වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ උත්සවය 2016-01-25 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දි‍රයේදී පැවැත්වෙනු ඇති බවට ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.