• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1964 අංක 122 දරන සේවා නියුක්ති ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය සඳහා යෝජිත පිළිගැනීම
- 'සේවා නියුක්ති ප්‍රතිපත්තිය පිළිබඳ C 122 සම්මුතිය' (Convention C 122 on Employment Policy) හා ඒ හා බැඳුණු 'R 122 නිර්දේශය' (Recommendation R 122) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 1964 දී සම්මත කර ගන්නා ලදී. C 122 සම්මුතිය මඟින් මූලික වශයෙන් සේවක හා සේව්‍ය නියෝජිතයන් විමසමින් පූර්ණ, ඵලදායී හා නිදහසේ තෝරා ගැනුණු රැකියාවන් ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමේ සහ අනුගමනය කිරීමේ වගකීම එකී සම්මුතිය අපරානුමත කළ රාජ්‍යයන්ට පැවරේ. 2013 වර්ෂයේදී දියත් කෙරුණු 'ශ්‍රී ලංකාවේ ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය' (The National Human Resources and Employment Policy of Sri Lanka) පරිපූර්ණ, ඵලදායී සහ නිදහසේ තෝරාගත් සේවා නියුක්තියක් සඳහා වන මූලික රාමුව සලසයි. C 122 සම්මුතිය අපරානුමත කිරීම මඟින් රටෙහි කම්කරු ප්‍රමිතීන්වල ක්‍රියාකාරිත්වය මෙන්ම සමාජ ප්‍රතිපත්තියද තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, ආණ්ඩුකරණය (governance) සම්බන්ධයෙන්ද එය වැදගත් වේ. ඒ අනුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සේවා නියුක්ති ප්‍රතිපත්තිය පිළිබඳ C 122 සම්මුතිය (1964) අපරානුමත කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.