• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන නියෝජනයන් ලබාගැනීම පිණිස කමිටුවක් පත් කිරීම
- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා වන සාකච්ඡා සිදු කිරීම පිණිස 2015-11-18 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කෙරිණි. එම අනුකාරක සභාවේ රැස්වීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජනයන් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය යන දෙයාකාරයෙන්ම ලබාගැනීම පිණිස කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. එසේම මහජන නියෝජනයන් වාචිකව ලබාගැනීම පිණිස විද්වත් පුද්ගලයන් 24 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලබන බවටත්, එම කමිටුව සාමාජිකයන් තිදෙනා බැගින් වන මණ්ඩල ලෙස ක්‍රියා කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රැස්වෙමින් මහජනතාවගේ නියෝජනයන් වාචිකව ලබාගැනීමට කටයුතු කරනු ඇති බවටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.