• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම
- 2009 වර්ෂයේ මැයි මාසයේදී ගැටුම් අවසාන වීමෙන් පසුව ප්‍රතිසන්ධානය හා කල් පවත්නා සාමය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට උදා වූ ස්වර්ණමය අවස්ථාව විවිධ කරුණු හේතුවෙන් අහිමිව ගියේය. ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රතිසන්ධානය ඇති කිරීම කල් නොයවා සිදු කළ යුතු අත්‍යවශ්‍ය කරුණක්ව පවතියි. මේ වන විට අමාත්‍යාංශ ඇතුළු රජයේ විවිධ ආයතන විසින් මෙරට තුළ ප්‍රතිසන්ධානය ගොඩනැංවීම සඳහා කටයුතු කරමින් සිටින අත‍ර, එම කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යගත ආයතනයක් නොමැති වීම හේතුවෙන් තීරණ හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අනිසි ප්‍රමාදයන් ඇති වීම, කාර්යයන් ද්වීකරණය වීම වැනි ප්‍රායෝගික ගැටලු පැනනැඟී ඇත. එබැවින් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය හා බැඳුණු තීරණ, වැඩසටහන් සහ ක්‍රියාවලීන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා පහත සඳහන් වගකීම් දරන ප්‍රතිසන්ධාන යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයක් (Secretariat for Coordinating the Reconciliation Mechanisms - SCRM) වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ප්‍රතිසන්ධාන යන්ත්‍රණයන් පිළිබඳ ජාතික මට්ටමේ කතිකාවන් සම්බන්ධීකරණය.

* ' අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය', ' සත්‍ය, සංහිඳියාව හා නැවත ගැටුම් ඇති නොවීම සඳහා වන කොමිසම' වැනි ප්‍රතිසන්ධාන යන්ත්‍රණයන් ස්ථාපිත කිරීම සඳහා නිශ්චිත දින වකවානු සහිතව සැලැස්මක් සංවර්ධනය කිරීම.

* ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු දේශීය ආයතන සමඟ මෙන්ම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය (OHCHR) වැනි ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධීකරණය.

* උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)ඇතුළු අනෙකුත් කොමිෂන් සභා වාර්තාවල සහ OHCHR වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම හා සම්බන්ධීකරණය.

* නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ පරිපාලන හා අධිකරණමය ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම හා බැඳුණු අනෙකුත් අවශ්‍යතා සම්බන්ධීකරණය.