• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම හා එය තහවුරු කිරීම
- 'බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට කිසිවකු භාජනය නොකළ යුතුය' යන මූලධර්මය මත පදනම් වී ඇති ඉහත සම්මුතිය මඟින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථකථනය කර ඇති අතර, එසේ අතුරුදන් කිරීම තහනම් කරමින් එය අපරාධමය වරදක් ලෙස සලකා නීති පැනවීම පිණිස සියලුම පාර්ශ්ව රාජ්‍යයන්ට බැඳීමක් ඇති කරනු ලබයි. මේ වන විට රාජ්‍යයන් 94ක් ඊට අත්සන් තබා ඇති අතර, රාජ්‍යයන් 51 ක් විසින් එය තහවුරු කරනු ලැබ තිබේ. වත්මන් රජය ලද ජනවරමට හා එහි දැක්මට අනුව කටයුතු කරමින් සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ගැටුම් යළිත් ඇති නොවන බව සහතික කිරීම පිණිස බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට සහ එම සම්මුතියේ විධිවිධාන මෙරට තුළ බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.