• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය මේ වන විට සැලකිය යුතු පරිණතභාවයක් ලබා ගෙන ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමුපකාර සමිති, වාණිජ බැංකු, සංවර්ධන බැංකු, රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වැනි විවිධ ආයතන විසින් කුඩා පරිමාණයේ ණය සපයන ආයතන හා සම්බන්ධ වී ඇත. වර්තමානයේ දී විවිධ වූ නියාමන අවශ්‍යතා හා ප්‍රමිතීන්වලට අනුගත වූ රාජ්‍ය ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය සිදු කරයි. මෙම ක්ෂේත්‍රයේ පවතින සංකීර්ණභාවය මත වඩාත් විධිමත්ව නියාමනය හා අධීක්ෂණ කටයුතු සිදු නොකෙරුණහොත් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත කාර්යක්ෂමතාව හීනවීමටත්, එම ක්ෂේත්‍රය තුළ අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් අවභාවිත කිරීම තුළින්, කුඩා පරිමාණයේ ණය පහසුකම් ලබා දෙන ආයතනවලින් ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභීන් හට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමටත් එම තත්ත්වය හේතු වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.