• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල පැවරීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වන ව්‍යවස්ථා සංශෝධනය
- 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණු තමන් විසින් ඉදිරිපත් කරන ලද "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" යන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා අනුකූලව ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල මුලින් අපේක්ෂා කළ පරිදි විශාල වශයෙන් අඩු කිරීමට නොහැකි වූයේ එබඳු සංශෝධනයක් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බැවිනි. එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පවත්වන ලද සාකච්ඡා වලදී පුළුල් එකඟතාවකට එළඹීමට නොහැකි වූ බැවින්, යෝජිත සංශෝධන සිදු කළ නොහැකි විය. එබැවින්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහ බහුජන සංවිධානවල නියෝජනයන්ද සැලකිල්ලට ගෙන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ සිදු කළ යුතු ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.