• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය හා ඒ අවට පිහිටි දූපත් ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කර උතුරු පළාතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයන් පහසු කරවන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- උතුරු පළාතේ යාපනය අර්ධද්වීපය අවට ඩෙල්ෆ්ට්, පුංකුඩුතිව්, නාගදීප, අනලෛයිතිව්, මන්ඩතිව් ඇතුළු දූපත් 15කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇත. ඒ අතුරින් දූපත් 06 ක ජනතාව වාසය කරන අතර ඒවායේ පදිංචි මුළු පවුල් සංඛ්‍යාව 15,000ක් පමණ වේ. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වන්නේ මසුන් මැරීම, කෘෂිකර්මය, සත්ත්ව පාලනය හා තල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු යනාදියයි. දැනට පවතින අකාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම හේතුවෙන් ප්‍රධාන භූමියට ගමන් කිරීම සඳහා අධික කාලයක් සහ අධික මුදලක් ඔවුන්ට වැය කිරීමට සිදු වී ඇත. ඒ අනුව,කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් සැලසීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.