• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා සර්බියාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
- නැ‍ඟෙනහිර යුරෝපයේ ඉහළ මැදි ආදායම් ලබන රටක් වන සර්බියාව, සංචාරක ව්‍යාපාරය මඟින් එරටේ ජාතික ආදායමට ඉහළ දායකත්වයක් ලබා දෙන අතර, යුරෝපා සංගමයේ රටවල් 13ක් සමඟ බහුපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹී ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ පවතින වැඩිවන ඉල්ලුම සලකා බැලීමේදී සර්බියාව අනිකුත් රටවල් සමඟ ඇති කර ගෙන ඇති ගුවන් සේවා සබඳතා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිසද යොදා ගැනීමේ හැකියාව ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ සර්බියාවේ ගුවන් යානාවලට මත්තල ගුවන්තොටුපළට පැමිණීමට හා එහි සිට වෙනත් රටවල්වලට පියාසර කිරීමට අවසර ලබා දීම තුළින් එම ගුවන්තොටුපළ ඵලදායී අන්දමින් ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව හා සර්බියාව අතර දැනටමත් නිලධාරි මට්ටමින් අත්සන් තබා ඇති ගුවන් සේවා ගිවිසුම බලයලත් නියෝජිතයකු මඟින් අත්සන් තැබීම පිණිස සහ ඉන්පසුව එකී ගිවිසුම බලාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.