• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ තේ වෙන්දේසියේ මිල ස්ථායිකරණය සඳහා රජය මැදිහත් වීම
- ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගන්නා රටවල පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපේ තේ සඳහා වූ ඉල්ලුම පහත වැටීම නිසා 2014 වර්ෂයේ ලැබූ මිල ගණන් සමඟ සසඳන විට මේ වසරේ ආරම්භයේ පටන්ම තේ මි‍ල සැලකිය යුතු අන්දමින් පහත වැටෙමින් පවතී. සාමාන්‍යයෙන් නිමි තේ කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 450/-ක් වුවද, තේ වෙන්දේසියේ අගෝස්තු මාසය වන විට තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 385.51ක් දක්වා පහත වැටී තිබිණ. මේ තත්ත්වය ප්‍ර‍ාදේශීය වැවිලි සමාගම්ද ඇතුඵව තේ වැවිලි ‍ක්ෂේත්‍රයේ නියුතු සැම දෙනාටම අතිශයින්ම අහිතකර ලෙස බලපා ඇත. තේ වගා අංශයට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 6,000ක් පමණ වැය කරමින් කුඩා තේ වතු හිමියන් හට අමු තේ දලුවලට සහතික මිලක් ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර, තේ කම්හල් හිමියන්ටද සහන පදනමක් යටතේ කාරක ප්‍රාග්ධනය සඳහා ණය ලබා දෙන ලදී. ශීඝ්‍රයෙන් තේ මිල අඩු වන පසුබිමක ඉහත සඳහන් අයුරින් සහන සැපයීම පමණක් ප්‍රායෝගික නොවන බැවින්, වෙන්දේසියේ තේ මිල ඉහළ නැංවීම සඳහා රජය විසින් මැදිහත් විය යුතුව ඇත.

2008 වර්ෂයේදී ලෝක ආර්ථික අර්බුදය හමුවේ මේ අයුරින්ම තේ මිල පහත වැටෙන විට රජය විසින් වෙන්දේසියේ තේ මිල දී ගැනීම මඟින් තේ මිල පහත වැටීම සතුටුදායක පරිදි පාලනය කරන ලදී. එම අත්දැකීම සැලකිල්ලට ගනිමින් මේ අවුරුද්දේදීද ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් හොඳ තත්ත්වයේ තේ කිලෝග්‍රෑමයක් රුපියල් 430/-ක් වන මිල යටතේ ඉදිරි වෙන්දේසිවලදි මිල දී ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් රජයෙන් ලබා දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තේ කිලෝග්‍රෑමයක් සඳහා වෙන්දේසියේ ලැබෙන මිල රුපියල් 450/-ක මට්ටමට ළඟා වූ පසු මේ අයුරින් රජය විසින් තේ මිල දී ගැනීම අත්හිටවනු ඇත.