• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 ඔක්තෝබර් මස 08 සිට 11 දක්වා පේරු රාජ්‍යයේ, ලීමා නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ / ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්
- සිය ප්‍රධානත්වයෙන් යුතුව මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහත සඳහන් වාර්ෂික රැස්වීම්වලට සහභාගි වූ බවත්, එම රැස්වීම්වලදී නැඟී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ආර්ථික ගැටලුවලට වැඩි අවධානය යොමු කෙරෙමින් ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කළ බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. එසේම, එක් එක් රටවල ආර්ථිකයන්හි නිෂ්පාදන අංශයේ මන්දගාමී වර්ධනය සහ බොහෝ රාජ්‍යයන් මුහුණ දී ඇති දේශපාලනික අර්බුද ආදී අහිතකර තත්ත්වයන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට හේතු ලෙස හඳුනාගනු ලැබූ බවත්, ගෝලීය ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු බැවින් එමඟින් උද්ගත විය හැක මූල්‍යමය අස්ථාවරත්වය, විරැකියාව, ආදායම් විෂමතාව වැනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම පිණිස ප්‍රමුඛතාව අනුව මනාව පෙළගස්වා ගන්නා ලද ප්‍රතිපත්ති සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් අනුගමනය කිරීමෙහි ඇති වැදගත්කම අවධාරණය කෙරුණ බවත් ඇමතිතුමා විසින් වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී.

තවද, අපගේ විදේශ වෙළඳාමේ වැදගත් පාර්ශ්වකරුවන් වන රටවල මුදල් අමාත්‍යවරුන් සමඟ මෙන්ම ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ඵලදායී සාකච්ඡා රාශියක් පවත්වන ලද බවත් මුදල් අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.