• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා - තායිලන්ත 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම
- ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2015 වසරට 60 වසරක් සම්පූර්ණ වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් අනුව මේ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ තායිලන්ත තැපැල් ආයතනය සමරු මුද්දර දෙක (02) බැගින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. දෙරටටම පොදු තේමාවක් වූ බුද්ධාගම පදනම් කරගෙන මෙම මුද්දර නිකුත් කෙරෙන අතර, මෙමඟින් දෙරටෙහි ජනතාව අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම මුද්දර නිකුත් කිරීම ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ තායිලන්ත නිල සංචාරයට සමගාමීව තායිලන්ත තැපැල් ආයතනය විසින් 2015 නොවැම්බර් 02 වන දින සිදු කරන ලද අතර, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එය 2015 නොවැම්බර් මස 20 වන දින සිදු කිරීමට අපේක්ෂිත ය. මෙම සමරු මුද්දර නිකුත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා තායිලන්ත තැපැල් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.