• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු පරිමාණ තේ හා රබර් වගා හිමියන්ගේ පුනර්ජීවන වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලෙන් මූල්‍ය සහාය ලබාගැනීම
- සුළු පරිමාණ තේ හා රබර් වගා ක්ෂේත්‍රය තිරසර ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IFAD) මූල්‍යාධාර ඇතිව රජය විසින් එම ක්ෂේත්‍රයේ පුනර්ජීවන වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන යටතේ මාතර, ගාල්ල, රත්නපුර, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල දැනට වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 5,500ක තේ ඵලදාව වැඩි කරගැනීමට සහාය වීමට අපේක්ෂිතය. එමෙන්ම මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල නව රබර් වතු හෙක්ටයාර 3,000ක රබර් ඵලදාව වැඩි කරගැනීමටද මෙම වැඩසටහන දායක වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 65.4 ක් වන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 25.7 ක් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (IFAD) විසින් සපයනු ලැබේ. ඒ අනුව, සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.