• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- මාතර නගරයට ආසන්න වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටා ඇති රුහුණ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් නූතන විශ්වවිද්‍යාලයක දක්නට ලැබෙන පහසුකම්ද සැලසෙන පරිදි විශ්වවිද්‍යාල නගරයක් නිර්මාණය කිරීමට රජය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ රුහුණ විශ්වවිද්‍යාල නගරය සහ ඒ තුළ පිහිටි පොදු පහසුකම් දියුණු කිරීම සහ සමුද්‍ර ජීවී මින් මැදුරක්, මිරිදිය ජීවී මින් මැදුරක් හා ඊට අදාළ යටිතල පහසුකම් දියුණු කිරිම වශයෙන් උප ව්‍යාපෘති දෙකක් රුපියල් මිලියන 2,512.8ක ඇස්තමේන්තුගත ආයෝජනයකින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. යෝජිත පළමු උප ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය:

* විශ්වවිද්‍යාල නගරයේ සීමා මායිම් නිර්ණය කර ප්‍රකාශයට පත් කිරීම.

* කුඹල්ගම වැව සහ දෙවුන්දර කලපුව යා කරන වාරි ඇළ මාර්ගයක් ඉදි කර එක් ඉවුරක සක්මන් මඟක් ඉදි කිරීම.

* විශ්වවිද්‍යාල නගරය තුළ පිහිනුම් තටාකයක් ඉදි කිරීම සහ ඒ අවට ක්‍රීඩා සහ විනෝදාත්මක පහසුකම් සංවර්ධනය කිරීම.

ඒ අනුව, රුහුණ විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන පළමු උප ව්‍යාපෘතිය රුපියල් මිලියන 556.6ක ආයෝජනයකින් ක්‍රියත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.