• Increase font size
  • Default font size
  • Decrease font size

2015-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුහුරු විදුලි මනු (Smart Electric Meters) දේශීයව නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට හඳුන්වා දීම
- පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ළඟා කරගෙන ඇති අතර, මේ වන විට දිවයින පුරා අඛණ්ඩව පැය 24 තුළම විදුලිය ලබා දෙමින් 100% කට ආසන්න විදුලිය ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. ලෝකයේ විදුලිබල තාක්ෂණය දිනෙන් දින නවීකරණය වෙමින් පවතින අතර, විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය උසස් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් කාර්යක්ෂම කිරීම මඟින් ජාතික ආර්ථිකයට විශාල ලෙස ප්‍රතිලාභ අත් කරගත හැකිය. මෙහිදී දේශීය විදුලි පද්ධතියට සුහුරු විදුලි මනු (Smart Electric Meters) හඳුන්වා දීම අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවකි. සුහුරු විදුලි මනු භාවිතය මඟින් විදුලි ඉල්ලුම වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උපකාරී වනවා සේම විදුලි පරිභෝජනය ස්වේච්ඡාවෙන් පාලනය කරගැනීමට පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම, දුරස්ථ වායු සමීකරණ ඇති යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම ආදී සේවාවන්ද සපයයි. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් මිලියන 49.2ක වියදමකින් දේශීය වෙළඳපොළට අවශ්‍ය සුහුරු විදුලි මනු නිෂ්පාදනය කොට සංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ඇරඹීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.