• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
- යුක්තිය පසිඳළීම සඳහා වන අධිකරණ පද්ධතියේ සහ ඊට අදාළ අනෙකුත් ආයතනයන්හි දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලු සඳහා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමේ අරමුණින් සමස්ත අධිකරණ ක්‍රියාවලියම අවාරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. නඩු විසඳීමේ ප්‍රමාදය අවම කිරීම මෙන්ම මහජනතාවට සපයන සේවාවන්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය පහත සඳහන් ප්‍රධාන උපාංග 05 ක් යටතේ සැලසුම් කර ඇත.

(i) අධිකරණයන් හා ඊට අදාළ ආයතනයන්ගේ යටිතල පහසුකම් වර්ධනය කිරීම.

(ii) අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නඩු කළමනාකරණය කිරීමේ නව තාක්ෂණික පරිගණකගත පද්ධතියක් හඳුන්වාදීම .

(iii) නීති ප්‍රතිසංස්කරණ හා පර්යේෂණ.

(iv) යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරින්ගේ පුහුණුවීම් හා කුසලතා වර්ධනය කිරීම.

(v) අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා නිරන්තර අධ්‍යයනයක යෙදීම හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හැකිවන පරිදි ස්ථිර මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කිරීම.

මෙම ව්‍යාපෘතිය සඳහා මුළු පිරිවැය රුපියල් මිලියන 14,681 ක් වශයෙන් ඇස්තමේන්තු ගත කර ඇති අතර අවශ්‍ය අරමුදල් විදේශ අරමුදල් සපයන ආයතනයක් වෙතින් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු 2016 වර්ෂයේ සිට ආරම්භ කිරීම පිණිස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.