• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්ධනය සඳහා වූ ගෝලීය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීම
- ගෝලීය මට්ටමේ සෞඛ්‍ය ප්‍රශ්න වන ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව යන බෝවන රෝග තුන (03) පාලනය කිරීමේ අරමුණින් 2002 වර්ෂයේදී ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්ධනය සඳහා වූ ගෝලීය අරමුදල පිහිටුවා ගන්නා ලදී. මෙම අරමුදල මඟින් රෝග මර්ධනය සඳහා එම රෝග ප්‍රචලිත රටවල රාජ්‍ය ආයතන සහ වෙනත් සංවිධාන වෙත මූල්‍ය පහසුකම් ප්‍රදානය කෙරේ. මේ වන විට ශ්‍රී ලංකාව මැලේරියා රෝගය මනාව පාලනය කිරීමට සමත් වී ඇති අතර 2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය වැළඳුනු රෝගීන් වාර්තා වී නැත. එබැවින් ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ‍ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කිරීම මේ වර්ෂය තුළදී සිදු කරනු ඇත. ඒ අනුව මැලේරියා රෝගය තුරන් කළ ප්‍රථම ඝර්ම කලාපීය රට වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත. ගෝලීය අරමුදලේ මූල්‍ය රෙගුලාසි අනුව 2015 වසරේ සිට ඉදිරියට මූල්‍ය ප්‍රදානයන් ලබාගැනීම සඳහා එම අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කළ යුතු ගිවිසුම අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.