• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි.මි.9.32) වන III වන අදියරෙහි වැඩ විෂයපථය වෙනස් කිරීම
- පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියේ සිට කඩවත දක්වා වූ කිලෝ මීටර් 9.32ක කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.69ක මුදලකට චීනයේ Metallurgical Corporation of China Ltd.(MCC) ආයතනයට ප්‍රදානය කිරීම සඳහා 2013 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. මෙම ඉදි කිරීම සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මාර්ග ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදි කිරීම් විෂයපථය පහත සඳහන් වෙනස්කම් සිදු කිරීමටත් එමඟින් මුළු කොන්ත්‍රාත් පිරිවැය 35.9% කින්, එනම් රුපියල් බිලියන 23.93 කින් අඩු කිරීමටත් පසුව තීරණය කරන ලදී.

(i) අධිවේගී මාර්ග කොටස මංතීරු හතරකින් යුක්තව ඉදි කිරීම.
(ii) කණු මත ඉදි කරන මාර්ගයන්හි (Viaducts) දිග අඩු කිරීම.
(iii) කණු මත ඉදි කරන මාර්ගයන්හි උස අඩු කිරීම.

එහෙත්, ඉහත සංශෝධනයන් සඳහා අදාළ කොන්ත්‍රාත්කරුගේ එකඟතාවය නොලැබීම හේතුවෙන් එකී අධිවේගී මාර්ග කොටසේ ඉදි කිරීම් කටයුතු ප්‍රමාද වී ඇත. මෙම ආයෝජනයේ පූර්ණ ප්‍රතිලාභය ලබාගැනීම පිණිස මාර්ග ආරක්ෂක ක්‍රමවේදයන්හි කිසිදු අඩු කිරීමකින් තොරව වැඩ විෂයපථයෙහි සිදු කළ හැකි වෙනස් කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදි කිරීම් අධීක්ෂණ උපදේශකවරයා වෙතින් ලබාගෙන තිබේ. ඒ අනුව, පහත සඳහන් ප්‍රධාන වෙනස්කම් දෙක යෝජනා කරනු ලැබ ඇත

* මෙම අධිවේගී මාර්ග කොටසේ කෙරවලපිටියෙහි අන්තර් හුවමාරු ස්ථානයක් ඉදි කෙරෙන බැවින් ඊට ආසන්න දුරකින් පෑලියගොඩ - පුත්තලම මාර්ගයෙහි ඉදි කිරීමට යෝජිත අන්තර් හුවමාරු ස්ථානය ඉවත් කිරීම.

* මෙම අධිවේගී මාර්ගයේ I හා II අදියරයන් මංතීරු හතරකින් යුක්තව ඉදි කර ඇති බැවින් මෙම ‍ III අදියර ද මංතීරු හතරකින් යුක්තව ඉදි කිරීම.

ඒ අනුව, මුල් කොන්ත්‍රාත් මුදලින් 14.84%ක් එනම් රුපියල් බිලියන 9.9ක ඉතිරියක් සිදුවන පරිදි වැඩ විෂයපථයෙහි වෙනස්කම් සිදු කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.