• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2016 - 2018
- ශ්‍රී ලංකාව ප්‍රධාන ආහාර වර්ග ආනයනය කිරීම සඳහා මේ වන විට වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරන නමුත් එලෙස ආනයනය කරනු ලබන ආහාර වලින් වැඩි ප්‍රමාණයක් දේශීයව, වස විසෙන් තොරව හා වැ‍ඩි ගුණාත්මකභාවයකින් යුක්තව නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් පවතී. එසේම පරිභෝජනයට ගනු ලබන සත්ත්ව නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණයද තවදුරටත් වැඩි කර ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව වාර්ෂිකව වැය වන ආනයන වියදම අඩුකර දේශීයව නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර වර්ග උපරිම වශයෙන් මෙරටෙහි නිෂ්පාදනය කරගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

ඒ අනුව, අදාළ සියලුම අමාත්‍යාංශවල හා ආයතනවල දායකත්වයෙන් 2016 - 2018 කාලය තුළ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 15,595 ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙම ජාතික වැඩසටහන මඟින් පහත සඳහන් අරමුණු සපුරා ගැනීමට අපේක්ෂිතය.

* කෘෂි පාරිසරික කලාප පදනම් කර ගත් බෝග නිෂ්පාදන වැඩසටහනක් හඳුන්වාදීම තුළින් රටේ සමබර වර්ධනයක් ඇති කිරීම.

* දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වලින් රට ස්වයංපෝෂිත කිරීම හා එමඟින් ආහාර ආනයනය සඳහා වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම.

* ආහාර නිෂ්පාදනයේදී කෘෂි රසායනික භාවිතය අවම කොට පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කිරීම මඟින් ගුණාත්මක ආහාර ද්‍රව්‍ය සුලබ කිරීම.

* මත්ස්‍ය නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය පිළිගත් සම්මතයන් දක්වා ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම.

* නිෂ්පාදනය කරන ආහාර කාර්යක්ෂමව බෙදාහැරීම, හා අතිරේක ආහාර සංචිත විධිමත් පරිදි කළමනාකරණය කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම.

* ආහාර නිෂ්පාදන කාර්යයේදී ගුණාත්මක යෙදවුම්, යෝග්‍ය තාක්ෂණික හා යාන්ත්‍රික ක්‍රම භාවිතයෙන් නිෂ්පාදන ඵලදායිතාව උපරිම කිරීම හා නිෂ්පාදන පිරිවැය අවම කිරීම.

* දේශීය ආහාර නිෂ්පාදනයට සම්බන්ධ සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පාසල් සිසුන්, ගොවි සංවිධාන හා විවිධ සිවිල් සංවිධාන මඟින් මෙම වැඩසටහන මහජනතාවගේ එදිනෙදා ජීවිතයට බද්ධ කිරීම.

මෙම වැඩසටහන 2015 වර්ෂයේ මහ කන්නයේ සිට ආරම්භ කර 2016 - 2018 අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.