• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන - 2016 - 2018
- තිරසාර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමේ අරමුණ ඇතිව පරිසර සංරක්ෂණය සඳහා ජාතික සැලස්මක් අදාළ සියලුම ආයතනවල දායකත්වය ඇතිව සකස් කර ඇති අතර ඒ යටතේ පහත සඳහන් පරිදි ප්‍රධාන පරිසර ගැටලුවලට වසර තුනක කාලයක් තුළ විසඳුම් ලබා දීමට අපේක්ෂිතය.

(i) පරිසර දූෂණ පාලනය

* “නිකසල ලංකා” ජාතික වැඩසටහන මඟින් 2018 වන විට විධිමත් කසල කළමනාකරණයක් සහිත රටක් බිහි කිරීම.

* “නිකසල පුරවර” වැඩසටහන යටතේ නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කසල කළමනාකරණය.

* “හරිත වෙරළ” වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කිලෝ මිටර් 15 ක හරිත වෙරළ තීරයක් ස්ථාපිත කිරීම.

* “සුනිල සයුර” වැඩසටහන යටතේ 2018 වන විට දිවයින වටා පිහිටි සමුදුර දූෂණයෙන් තොර කලාපයක් බවට පත් කිරීම.

* “පිරිසිදු වායු- දීඝායු” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ නගර හා ගම් ආශ්‍රිත ප්‍රදේශවල දූෂණයෙන් තොර වායු ගෝලයක් ස්ථාපිත කිරීම.

* “ජන දිවි රකින - ජල රැකවරණය” වැඩසටහන යටතේ සැමට පිරිසිදු ජලය ලබා දීම.

(ii) වන සංරක්ෂණය සහ සංවර්ධනය

* “වන රෝපා” ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර් 6,000 කින් වනාන්තර ගහණය වැඩි කිරීම.

* “වන අරණ රැකවරණ” වැඩසටහන යටතේ කිලෝ මීටර් 6000 ක්/ හෙක්ටයාර් 25,000 ක් වනාන්තර මැන සලකුණු කිරීම හා ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගැනීම.

* “වන සරණ” වැඩසටහන මඟින් පාරිසරික සංචාරක කර්මාන්තය දියුණු කිරීම.

(iii) තිරසර ඉඩම් කළමනාකරණය

* “හායන - සායන” වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ පාංශු ඛාදනය හා භූමිය හායනය වැළක්වීම.

* “ක්ෂේම භූමි” ජල පෝෂක සංරක්ෂණ වැඩසටහන මඟින් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම.

* “සාර නගර” වැඩසටහන යටතේ දේශගුණ සුමිතුරු නගර පහක් (05) ස්ථාපිත කිරීම.

* දේශගුණ විපර්යාසවලට මුහුණ දිය හැකි “දේශගුණ අනුහුරු ගම්මාන” පනහක් (50) ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත කිරීම.

(iv) වන සත්ත්ව - මිනිස් ගැටුම

* අලි මිනිස් ගැටුම්වලින් තොර සහජීවන කලාප නිර්මාණය කිරීම පිණිස “ජනවරණ රැකවරණ” වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

(v) ජෛව සම්පත් සංරක්ෂණය

* “ජෛව සම්පත් හරණ - වාරණ” වැඩසටහන මඟින් ජෛව සම්පත් මංකොල්ලය පාලනය කිරීම.

* “වනජීවී පුනර්ජනන” වැඩසටහන යටතේ තර්ජනයට ලක් වී ඇති වනජීවී විශේෂ පහක (05) පැවැත්ම තහවුරු කිරීම.

(vi) පරිසර සංරක්ෂණයට අදාළ ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ප්‍රවර්ධනය

* ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කයන්/ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස/ගම්මාන ආවරණය වන පරිදි “පරිසර බලමුළු” පිහිටුවීම.

* “පරිසර පොලීසිය” බලගැන්වීම, පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික සභාව පිහිටුවීම.

* පරිසර ගැටලු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා ඒවාට විසඳුම් සෙවීමේදී ජනතාවගේ සහභාගීත්වය ලබාගැනීම අරමුණු කරගෙන “ජන අඬහැරය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

මෙම තුන් අවුරුදු වැඩසටහන සඳහා රුපියල් මිලියන 22,547ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර එය 2015 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.