• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 සැප්තැම්බර් මස 27 දින දිවයින පුරා ඇති වූ පූර්ණ විදුලි ඇණ හිටීම පිළිබඳ මූලික වාර්තාව
- 2015 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රීයේදී මුළු දිවයින පුරාම විදුලිබලය එකවර ඇණ හිටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පැහැදිලි කිරීම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, එදින පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හා සති අන්ත දීර්ඝ නිවාඩුව නිසා විදුලි ඉල්ලුම මධ්‍යම රාත්‍රිය වන අපේක්ෂිත මට්ටමට වඩා පහළ ගොස් තිබීමත්, කුඩා ජල විදුලිබලාගාර, සුළං බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාරවල විදුලි නිෂ්පාදනය වැඩිවීමත් නිසා පද්ධතියේ ඇති වූ අසමතුලිතතාව හේතුවෙන් විදුලිය බිඳවැටීම සිදු වී ඇති බවට තමා වෙත වාර්තා වී ඇති බව ගරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දන්වා සිටින ලදී. මෙම විදුලිය බිඳවැටීමට සත්‍ය වශයෙන්ම හේතු වූ කරුණු කවරේද යන්න පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට සහ මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වීම වැළැක්වීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ලබාගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කරන ලෙසත්, එකී කමිටුවේ වාර්තාව සති තුනක් (03) ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍ය මණ්ඩලය විසින් ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදී.