• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ මහාධිකරණ සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා එම අධිකරණයන් විතැන් කිරීමට තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම
- බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ඉදි කරන ලද කොළඹ අළුත්කඩේ පිහිටි මහාධිකරණ සංකීර්ණය තුළ මහාධිකරණ 08ක්, වාණිජ මහාධිකරණ 03ක් හා දිසා අධිකරණ 08ක් ස්ථාපනය කර ඇති අතර අදාළ ගොඩනැඟිලි ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බැවින් ඒවා කඩිනමින් අලුත්වැඩියා කිරීම අත්‍යවශ්‍ය වී ඇත. එම අලුත්වැඩියා කටයුතු සිදුකරන කාල සීමාව තුළ එම ගොඩනැඟිලි සංකීර්ණයේ පවත්වා ගෙන යනු ලබන අධිකරණයන් තාවකාලිකව වෙනත් ස්ථානයකට විතැන් කිරීමට සිදු වේ. මේ සඳහා බී.සී.සී ලංකා ආයතනයට අයත් ඉඩමක පෙරසවි ගොඩනැඟිලි 04 ක් ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉදි කරන ලද අතර, මහාධිකරණයන් හා දිසා අධිකරණයන් විතැන් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන අනිකුත් පහසුකම් වන ජලය, විදුලිය හා මල අපවහන පද්ධතිය සැකසීම, නිලධාරින්ට හා මහජනතාවට වෙන් වෙන්ව වැසිකිළි පහසුකම් සැපයීම, වාහන අංගණ සැකසීම, ප්‍රවේශ මාර්ග සැකසීම, බන්ධනාගාර සිරකරුවන් රඳවා තැබීමේ ස්ථාන සැකසීම, රෙජිස්ට්‍රාර් කාර්යාලය, ලේඛනාගාර හා නඩු භාණ්ඩ තැබීමේ ස්ථානයක් සැකසීම සහ ආරක්ෂක කුටි සැකසීම කළ යුතුව ඇත. මෙම කාර්යය ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු අංශය මඟින් ඉටුකරවා ගැනීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 87.7ක මුදලක් වැය කිරීමටත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.