• Increase font size
  • Default font size
  • Decrease font size

2015-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 43.7 ක තාක්ෂණික සහ ප්‍රදාන ආධාර ලබා ගැනීම
- මධ්‍යම හා ඌව පළාත්වල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන හා ශ්‍රී ලංකාවේ වෙළඳාම ආශ්‍රිතව සහායන් සඳහා වූ වැඩසටහනට මූල්‍යාධාර වශයෙන් යුරෝ මිලියන 38 ක් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත තාක්ෂණික ආධාර වශයෙන් යුරෝ මිලියන 5.7 ක් වශයෙන්යු රෝ මිලියන 43.7 ක ප්‍රදානයක් (එනම් ආපසු අය නොකරන මූල්‍යාධාරයක්) ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇත.

එකී මූල්‍යාධාරයෙන් යුරෝ මිලියන 30 ක් උපයෝගි කරගෙන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මධ්‍යම හා ඌව පළාත්වල ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනෙහි අරමුණු වනුයේ එම පළාත්වල අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය, ආදායම් මට්ටම, සෞඛ්‍ය, පෝෂණය වැඩිදියුණු කිරීම සහ පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන හා පෞද්ගලික ආයතන මඟින් සලසනු ලබන සමාජ ආර්ථික සේවා ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකාවේ වෙළඳාම ආශ්‍රිත සහායන් සඳහා වූ වැඩසටහන යටතේ විදේශ වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයනයන්හි තරගකාරීත්වය ඉහළ නැංවීම, ඒ හා සම්බන්ධ යුරෝපා සංගමයේ GSP+ ප්‍රතිපත්තිමය හා නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හා යුරෝපා සංගමයෙන් පිරිනමනු ලබන GSP+ වෙළඳ සහනය ලබාගැනීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම ඇතුළත් අපනයන තරගකාරීත්වය සඳහා වන වෙළඳ ප්‍රතිපත්තියක් සැලසුම් කර ක්‍රියාවට නැංවීමට යුරෝ මිලියන 8 ක ප්‍රදාන ආධාර යෙදවීමට අපේක්ෂිතය. එසේම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලබා දීමට නියමිත යුරෝ මිලියන 5.7 ක වටිනාකමකින් යුත් තාක්ෂණික ආධාර මඟින් අපජල කළමනාකරණ අංශය කෙරෙහි විශේෂ අවධානයක් සහිතව එම මණ්ඩලයේ ආයතනික කළමනාකරණය හා තාක්ෂණික මට්ටමේ නිපුණතා සංවර්ධනය සඳහා ශිල්පීය ආධාර ලබා දෙනු ඇත.

මේ සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.