• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රජයේ ආයතන වෙත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology - ICT) හඳුන්වා දෙමින් ප්‍රගතිශීලී පියවර රැසක් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇත. එවන් මූලාරම්භයන් ර‍ජයේ සංවිධානය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුම්වත්භාවය ඇති කිරීමටත්, තාක්ෂණික උපකරණ හා විසඳුම් භාවිතයට ගැනීම ඉහළ නැංවීමටත් දායක වී ඇත. කෙසේ වුවද, බොහෝ අමාත්‍යාංශ හා රජයේ ආයතන තුළ ක්‍රියාත්මක අන්තර්ජාල සම්බන්ධතා ඉතා අඩු වේගයකින් ක්‍රියාත්මක වන අතර, ලේඛන බෙදාහදා ගැනීමේදී හා අනුමත කිරීමේ ක්‍රියාවලියේදී අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද නොහැකි වී ඇත. ජාලගත සම්බන්ධතාව අස්ථාවර වීම හේතුවෙන් රජයේ බොහෝ නිලධාරින්ට විද්‍යුත් තැපෑල (e-mail) භාවිත කර පණිවිඩ යැවීම පවා අපහසු ක්‍රියාවලියක් බවට පත්ව ඇත. එසේම තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී සියලුම රජයේ ආයතන පාහේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වනුයේ තොරතුරු තාක්ෂණ පද්ධති, සම්බන්ධතාවන් සහ දත්ත සන්නිවේදනයන් ආරක්ෂා කිරීම සඳහා සේවා සලසන, නිසි රාජ්‍ය පරිගණක යටිතල පහසුකම් නොමැති වීමයි. එසේ වුවද, රාජ්‍ය අයවැයෙන් විශාල ප්‍රමාණයක් එවැනි තොරතුරු තාක්ෂණ සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා වැය කරනු ලබයි. රජයේ අරමුදල් කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මුදල් අමාත්‍යාංශයේ මූලික අරමුණක් වන අතර, එම අරමුණ තොරතුරු තාක්ෂණ විසඳුම් ක්‍රියාවට නැංවීම සමඟද සම්බන්ධ වේ. ඒ සඳහා නිසි පරිගණක යටිතල පහසුකම් රජයේ ආයතන වෙත ලබා දීම අතිශය වැදගත් වන අතර, ඒ අනුව, මේ ක්ෂේත්‍රයේ වැදගත්ම රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) ආයතනය මඟින් දැනට පවතින LGN ජාලය වැඩිදියුණු කරමින් රජයේ ආයතන අතර කාර්යක්ෂම සහයෝගිතාවක් ඇති කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා, ආරක්ෂිත සන්නිවේදනයන් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.