• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 ලෝක ජනාවාස දින සැමරුම වෙනුවෙන් නිවාස 25,000 ක් පිළිසකර කිරීමේ වැඩසටහන
- එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳුදා දිනය ‘ලෝක ජනාවාස දිනය’ (World Habitat Day) ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව, මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 වන සඳුදා දිනට යෙදෙන අතර, එහි තේමාව “සැමට පොදු ඉඩකඩ” (public spaces for all) යන්නයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ක්‍රියාත්මක නිවාස ඉදි කිරීමේ ක්‍රියාවලිය තුළ නිවසේ මූලික ඉදි කිරීම් කටයුතු පමණක් සිදු කොට බිත්ති කපරාරු කිරීමකින් තොරව අදාළ නිවාසයන්හි දීර්ඝ කාලයක් පදිංචිව සිටින පවුල් රැසක් සිටින බවත්, ඒ හේතුවෙන් නිවසේ ආර්ථික වටිනාකම අවම වීම, අව්වැසි වැනි ස්වාභාවික සංසිද්ධීන් තුළින් නි‍වසේ ශක්තියට විශාල බලපෑමක් සිදු වීම, නිවසේ වෙසෙන දරුදැරියන්, වයෝවෘද්ධ පුද්ගලයින් ඇතුළු නිවැසියන්ට ශ්වසන බාධා වැනි සෞඛ්‍ය ප්‍රශ්න ඇති වීම ආදි ගැටලුවට මුහුණ දීමට සිදු වන බවත් නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය විසින් නීරික්ෂණය කරනු ලැබ ඇත.

ඒ අනුව, ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන, සෙසු රාජ්‍ය ආයතන හා සංවිධානවල සහාය ඇතිව නිවාස 25,000 ක බිත්ති කපරාරු කිරීමේ වැඩසටහන ඇතුළුව දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත අතර, ඔක්තෝබර් 05-12 දක්වා කාලය ‘ජනාවාස සතිය’ ලෙසද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව, 2015 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් යෝජිත වැඩසටහන් නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාවට නැංවීමටත්, එක් එක් දිස්ත්‍රික්කයකින් මූලික ඉදිකිරීම් පමණක් නිම කර ඇතිමුත් බිත්ති කපරාරු කර නොමැති නිවාස 1,000 බැගින් දිස්ත්‍රික්ක 25 න් නිවාස 25,000ක් තෝරා ගෙන, එසේ තෝරා ගත් එක් නිවසකට රුපියල් 10,000ක් බැගින් වූ උපරිමයකට යටත්ව ගොඩනැඟිලි ද්‍රව්‍ය පමණක් සපයා දී නිවාස පිළිසකර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් ලබාගැනීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.