• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොන්සියුලර් කටයුතු සඳහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1979 වසරේ සිට නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, මෑතකාලීනව එම සබඳතා වෙළඳ හා ආයෝජන කටයුතුවලට අමතරව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම, සංස්කෘතික හා අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර ගණනාවක් දක්වා පුළුල් වී ඇත. දැනට ශ්‍රී ලාංකිකයින් 250,000 ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවල නිරතව සිටින අතර, විශේෂයෙන්ම ‘පුහුණු කාණ්ඩය’ (skilled category) යටතේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට සැපයීම පිණිස එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පවතින හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. 2014 ජනවාරි මස 26 සහ 27 යන දෙදින තුළ අබුඩාබිහි පැවති ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ඒකාබද්ධ කොමිෂන් සභාවේ පළමු සැසිවාරය අතරතුරදී දෙරටෙහි පුරවැසියන්ට කොන්සියුලර් රැකවරණය හා සහාය සැලසීමේ අරමුණින් ඒකාබද්ධ කොන්සියුලර් කමිටුවක් ස්ථාපිත කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

මෙම කමිටුව ස්ථාපිත කිරීමේ අරමුණ වන්නේ දෙරට අතර කොන්සියුලර් ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කරගැනීම හා වර්ධනය කරගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොන්සියුලර් සබඳතා සඳහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමටත්, එම ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම පිණිස අවශ්‍ය යෝග්‍ය පියවර ගැනීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.