• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ අරමුදල් භාවිතයේදී සිදු වන නාස්තිය අවම කිරීම
- රජයේ අරමුදල් වැය කිරීමේදී අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කැපවීම රජය විසින් ප්‍රදර්ශනය කළ යුතු බව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරනු ලදුව, රජයේ අරමුදල් භාවිතයේදී සිදු වන නාස්තිය අවම කරගැනීම සඳහා පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී:

* කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, සෙසු සියලු තේරී පත් වූ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් විසින් සිදු කරනු ලබන විදේශ සංචාර හැකිතාක් දුරට සීමා කිරීම.

* අත්‍යවශ්‍ය ස්වභාවයේ විදේශ සංචාරවල නියැළීමේදී වුවද අදාළ කටයුතු සඳහා අවශ්‍යයෙන්ම සහභාගි විය යුතු තැනැත්තන් පමණක් නියෝජිත කණ්ඩායමට ඇතුළත් කරගැනීම;

* පරිවාර වාහන සහ ආරක්ෂකයන්ගේ සේවය ලබාදී ඇති ප්‍රභූන්ට, මහජන නියෝජිතයන්ට සහ බලධාරින්ට වර්තමානයේ සැලසිය යුතු ආරක්ෂාව පිළිබඳව කරනු ලබන විධිමත් ඇගයීමකින් පසුව, ඔවුන්ට සපයා දී ඇති ආරක්ෂක නිලධාරින් හා වාහන සංඛ්‍යාව හැකිතාක් දුරට අඩු කිරීමට කටයුතු කිරීම.

* ඉහත සඳහන් සියලුම මාර්ගෝපදේශ පළාත් බලධාරින්‍ට, ආරක්ෂක හමුදාවන්ට, රජය සතු ව්‍යවසායන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සහ රජය සතු සමාගම්වලටද අදාළ කරගැනීම.