• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගරු අමාත්‍යවරුන් සඳහා උපදේශකවරුන් පත් කිරීම
ගරු අමාත්‍යවරුන් සඳහා උපදේශකවරුන් පත් කිරීම සහ එසේ පත් කරනු ලබන උපදේශකවරුන් සඳහා දීමනා ගෙවීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය වෙත යොමු කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි තීරණය කරන ලදී:

* අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව එහි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් අපේක්ෂා කළ නොහැකි උපදෙස් ලබා දිය හැකි බවට අමාත්‍යවරයා විසින් අදහස් කරනු ලබන, අමාත්‍යාංශයේ විෂයපථය හා එහි කාර්යභාරය පිළිබඳව පෘථුල දැනුමක් සහිත ප්‍රවීණයන් පමණක් අමාත්‍යවරුන්ගේ උපදේශකවරුන් වශයෙන් පත් කිරීම පිණිස සලකා බැලිය යුතු බව;

* එක් අමාත්‍යවරයකු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එක් උපදේශකවරයකු පමණක් පත් කළ යුතු බව සහ එහෙත් විෂයන් දෙකක් හෝ ඊට වැඩි ගණනකට අදාළ පුළුල් විෂයපථයක් ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයකු සඳහා අදාළ වි‍ෂය ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණතාව/පළපුරුද්ද සහිත උපදේශකවරුන් උපරිම වශයෙන් දෙදෙනකු (02) පමණක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව පත් කළ හැකි බව: සහ

* ඔවුන්ට මාසික දීමනා ගෙවීමේදී අදාළ අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍රයට අදාළව ඉතා ඉහළ මට්ටමේ අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම, නවෝත්පාදන ස්වභාවයේ වැඩසටහන් හෝ ව්‍යපෘති සම්බන්ධයෙන් පුරෝගාමි මෙහෙවරක් ඉටු කර තිබීම, උපදේශකවරයකු ලෙස පත් කිරීමට පූර්වාසන්න සමයේ ඉතා ඉහළ පාරිශ්‍රමිකයන් ලබමින් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දරමින් සිටි අයකු වීම, රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ තනතුරු දරා තිබීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව.