• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 යල කන්නයේ වී අස්වැන්න කළමනාකරණය
- 2015‑09‑09 දින පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි 2015 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන අධීක්ෂණය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිරි වී මිල දී ගැනීමේ වැඩසටහන සැලසුම් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිපත් කිරීම පිණිස පත් කරන ලද, මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

* වී මිල දී ගැනීමේ වැඩසටහන ආරම්භයේදී මිල දී ගැනීමට අපේක්ෂා කළ මෙට්‍රික් ටොන් 120,000ක් වූ වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 160,000 දක්වා මෙට්‍රික් ටොන් 40,000 කින් වැඩි කිරීම.

* ඒ සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 1,906 ක අමතර මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම.

* දැනට රජය සතු වී තොගය අතුරින් අවශ්‍ය ආරක්ෂිත තොගය පවත්වා ගනිමින් ඉතිරි වී තොගය වී අලෙවි මණ්ඩලය විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් බැහැර කිරීමට කටයුතු කර 2015/2016 ඉදිරි මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සලසා ගැනීම.

* වැඩි ගොවීන් සංඛ්‍යාවකගෙන් වී මිල දී ගැනීමට හැකි වන පරිදි වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා අවම කරගැනීම.

* රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතරම වී මිල දී ගැනීමට සඳහා පෞද්ගලික අංශය මැදිහත් වීම වඩාත් පුළුල් කිරීම උදෙසා දැනට අකර්මණ්‍යව පවතින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගැන්වීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

* ගබඩා පහසුකම් නොමැති තොග ‍රැස් කරන්නන් සඳහා විශේෂ තාවකාලික ගබඩා පහසුකම් සපයා දීම මඟින් මිල දී ගැනීමේ තරගකාරීත්වයක් ඇති කිරීම.

* යල සහ මහ කන්න දෙකෙහිම සාර්ථක වී අස්වැන්නක් ලැබීම තුළින් රට තුළ ඇති වන වී අතිරික්තය යොදා ගනිමින් ජීව ඉන්ධන නිපදවීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරි ගැන්වීම.

* සහල් පිටි යොදා ගනිමින් අගය එකතු කරන ලද නිෂ්පාදන සිදු කරනු ලබන කර්මාන්ත දිරිමත් කිරීම.

* දීර්ඝකාලීන විසඳුමක් ලෙස අපනයන වෙළඳපොළට සරිලන නව වී ප්‍රභේද ගොවීන් අතර ප්‍රචලිත කිරීම.

* එක් කන්නයක් සඳහා වී හැර වෙනත් ක්ෂේත්‍ර භෝග හඳුන්වා දීම තුළින් භෝග විවිධාංගීකරණයට අවශ්‍ය පියවර ගැනීම.