• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘වන රෝපා’ - ජාතික රුක් රෝපණ වැඩසටහන
වන ගහණය අඩුවීම ශ්‍රී ලංකාව මුහුණ දෙන සුවිශේෂ පාරිසරික ගැටලුවක් වන අතර පරිසර සංරක්ෂණය පිළිබඳව 2016-2018 කාලය තුළ තුන් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් දැනට 29% ක් වන මෙරට වන ගහණය 32% දක්වා තවත් හෙක්ටයාර 6,000 කින් ඉහළ නැංවීමට ඉලක්ක කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ වන ගහණය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශ්වකරුවන් විසින් දැනටමත් සිදු කරගෙන යනු ලබන රුක් රෝපණ වැඩසටහන්හි තිරසර බව සුරැකෙන පරිදි ඵලදායී අන්දමින් එකී කටයුතු සම්බන්ධීකරණය කිරීමද සිදු කරනු ඇත.

2015 ඔක්තෝබර් මාසය පුරා ‘වන රෝපා’ නමින් ජාතික රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් එමඟින් වන වැස්ම වැඩි කිරීම, වන වියනෙහි ගුණාත්මක තත්ත්වයන් ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව සතු ජෛව විවිධත්වය හා ස්වාභාවික පරිසර පද්ධතිය නිසි ලෙස සංරක්ෂණය කිරීම, මුඩු බිම් රුක් රෝපණයට යොදා ගැනීම සහ වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය පිණිස වන විවිධ ක්‍රියාකාරකම් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

* පළමු සතිය
“වන අරණ - රැකවරණ” තේමාව යටතේ සුවිශේෂී පාරිසරික පද්ධති සුරකීම පිණිස ඒ ආශ්‍රිත වන වගා ප්‍රවර්ධනය, නඩත්තුව හා ආරක්ෂාව

* දෙවන සතිය
“ජන හිසට - තුරු සෙවණ” තේමාව යටතේ ජනාවාස ආශ්‍රිතව තුරු වියන් සෑදීමට දායක වන අතු වදුලු සහිත ගස් වැවීමෙන් හරිත බව ප්‍රවර්ධනය හා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන බව තහවුරු කිරීම.

* තුන්වන සතිය
“තුරු කැපකරු - අපි නිරතුරු” යන තේමාව යටතේ රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශය ජාතික රුක් රෝපණ ක්‍රියාදාමයේ සක්‍රීය පාර්ශ්වකරුවන් කර ගැනීම.

* හතර වන සතිය
“ වන අරණට - ජන සරණ” යන තේමාව යටතේ සමාජයේ විවිධ කණ්ඩායම් නිර්මාණශීලි හා තිරසර වන රෝපණ කටයුතුවලට යොමු කිරීම.

මෙම වැඩසටහන 2015 ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාවට නංවන අතර සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු, පාංශු සංරක්ෂණ ව්‍යාපෘති හා විවිධ පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, රජයේ සියලු ආයතනවල සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.