• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන මඟින් මරණ ලියාපදිංචි කිරීමේ බලය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. කෙසේ වුවද ත්‍රස්තවාදී ක්‍රියා, ජන කැළඹීම් හා ස්වාභාවික ව්‍යවසනයන් ආදී ස්වාභාවික නොවන තත්ත්වයන් යටතේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී එබඳු මරණ ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන එම පනතේ ඇතුළත් නොවන බැවින් ඊට විසඳුමක් ලෙස 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත හඳුන්වා දෙන ලදී. එහෙත් කිසියම් හේතුවක් නිසා අතුරුදහන් වූ පුද්ගලයකු මිය ගිය බවට එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පිළිනොගන්නා අවස්ථාවකදී ඉහත පනත යටතේ එවැනි අතුරුදහන් වීම් මරණ ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් නොමැත. එවැනි අවස්ථාවලදී අතුරුදහන් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට හිමිවිය යුතු හිමිකම් කිසිවක් ලබාගැනීමට නොහැකි වී ඇති අවස්ථාවන් නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයන්ට අනුකුලව, මෙවන් අවස්ථාවලදී බොහෝ රටවල් විසින් නිකුත් කරනු ලබන අතුරුදහන් වූ පුද්ගලයා /මියගිය බවට සැකකරන පුද්ගලයා “දක්නට නොමැති බවට වන සහතිකය” (Certificate of Absence) හා සමාන සහතිකයක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන පරිදි, 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.