• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කියෝතෝ සන්ධානය අනුව දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එකඟතාව ප්‍රකාශ කිරීම
- දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව විසින් සාමූහිකව සම්මත කරගෙන ඇති ප්‍රධාන සම්මුතිය වන දේශගුණික විපර්යාසය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතියෙහි (United Nations Framework Convention on Climate Change) පරමාර්ථ ළඟා කරගැනීම පිණිස නීත්‍යනුකූල වශයෙන් බැඳුණු පාර්ශ්වකරුවන් විසින් 1997 වසරේදී ජපානයේ කියෝතෝ නගරයේදී ඇති කර ගනු ලැබූ සන්ධානය කියෝතෝ සන්ධානය නම් වේ.

2008-2012 දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක වූ මෙම සන්ධානයේ පළමු බැඳීම් කාල සීමාව තුළදී කාර්මික රටවල් විසින් නිකුත් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය එම රටවල් 1990 වසරේදී නිකුත් කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයට වඩා 5.2% කින් වත් අඩු කළ යුතු වූ නමුත් 2012 වසර වන විට එම ඉලක්කය ළඟා කර ගත නොහැකි විය. ඒ අනුව, 2012 වසරේදී දෝහා කටාර් නගරයේදී පැවති එකී සන්ධානයේ පාර්ශ්වකරුවන්ගේ අටවන සම්මමේලනයේදී ඒ පිළිබඳ දෙවන බැඳීම් කාල සීමාවක් පැනවීමේ යෝජනාවකට එළඹෙන ලද අතර, කාර්මික රටවල් විසින් නිකුත් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය එම රටවල් 1990 වසරේදී නිකුත් කරන ලද හරිතාගාර වායු ප්‍රමාණයට වඩා අවම වශයෙන් 18% කින්වත් 2013-2020 කාල සීමාව තුළ තනිව හෝ සාමූහිකව අඩු කිරීම එමඟින් අපේක්ෂිත ය.

සංවර්ධිත කාර්මික රටවල් විසින් හරිතාගාර වායු අධික වශයෙන් නිකුත් කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා එනිසා සාගර ජල මට්ටම ඉහළ යාම වැනි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් රාශියකට අහිතකර බලපෑම් ඇති වීමේ අවදානමක් පවතියි.

කියෝතෝ සන්ධානයෙහි යෝජිත දෙවන බැඳීම් කාල සීමාව බල ගැන්වීම පිණිස එකඟ වීම මඟින් සංවර්ධිත කාර්මික රටවල් විසින් කරනු ලබන අධික කාබන් නිකුතුව අඩු කිරීම පිණිස බලපෑම් කිරීමට ශ්‍රී ලංකාව වැනි සාමාජික රටවල්වලට හැකි වන අතර, ඒ සම්බන්ධයෙන් වන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස පාර්ශ්වකාර රාජ්‍යයන් වෙතින් විදේශ මූල්‍යාධාර ලබාගැනීමටද පහසු වෙයි.

ඒ අනුව, කියෝතෝ සන්ධානයෙහි යෝජිත දෙවන බැඳීම් කාල සීමාව බල ගැන්වීම සඳහා තවදුරටත් අවශ්‍ය සහාය ලබා දීම තුළින් මිහිතලය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.