• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීම
- ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම හා එම පාලනය පිළිබඳ විධානය භාරව ක්‍රියා කරනු ලබන අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැඳී සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) වන ව්‍යවස්ථාවේ දැක්වේ. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී එම මාහැඟි සම්ප්‍රදායට ගරු නොකිරීම නිසා විවිධ ගැටලු මතු වූ අවස්ථාත් ඒ හේතුවෙන් රටේ යහපත සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබූ ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමට ඇති වූ බාධාවන් පිළිබඳ අත්දැකීම්ද සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සාමූහික වගකීම ආරක්ෂා කිරීමේ අමාත්‍ය මණ්ඩලයේ මහඟු සම්ප්‍රදාය ගරු කරමින් හා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් අලුතින් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය සතු වගකීම ඉටු කරන බවට හා ඒ සඳහා වන කැපවීම ප්‍රදර්ශනය කරන බවට ප්‍ර‍තිඥාවක් අමාත්‍ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකු විසින්ම ලබා දීම.

* යහ පාලනයේ ප්‍රශස්ත පරිචයන්ට අනුකූලව අමාත්‍යවරුන් විසින් ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීම හා එක් මාසයක් ඇතුළත එසේ සකස් කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරගැනීම.

ඒ අනුව, සියලුම අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම සුරකින බවට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිඥාවක් ලබා දෙන ලදී.