• Increase font size
  • Default font size
  • Decrease font size

2015-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020
- රජරට ප්‍රදේශයට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකින් (07) සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙසිය අනූපහකින් (295) සමන්විත වේ. මූලික වශයෙන් නගරයට සීමා වී ඇති යටිතල පහසුකම් වර්තමාන ප්‍ර‍‍ජා අවශ්‍යතාවන්ට ප්‍ර‍මාණවත් නොවන අතර ග්‍රාමීය ප්‍ර‍දේශවල සෞඛ්‍ය, අධ්‍යාපන හා මාර්ග වැනි යටිතල පහසුකම් බෙහෙවින් දුර්වල මට්ටමක පවතියි. විශේෂයෙන් උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි පැවති යුද ගැටුම්වලට මුහුණ දුන් වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය හා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි යටිතල පහසුකම් ඉතා දුර්වල තත්ත්වයක පවතියි. මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටින අතර විවිධ සේවාවන් ලබාගැනීම පිණිස යාබද දිස්ත්‍රික්ක වෙත යොමු වෙමින් සිටිති.

ඉහත පස් අවුරුදු වැඩසටහන යටතේ රුපියල් බිලියන 60 ක් වියදම් කරමින් දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ අතුරින් පානීය ජල ව්‍යාපෘතිය හා වකුගඩු රෝගීන් සඳහා රෝහලක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමි වී තිබේ. මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් දේශීය හා විදේශීය පෞද්ගලික ධන පරිත්‍යාගයන්ගෙන් මූල්‍යයනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම පස් අවුරුදු සැලැස්ම යටතේ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යැයි හඳුනා ගෙන ඇති අධ්‍යාපන, සෞඛ්‍ය සහ ග්‍රාමීය මාර්ග වැනි ක්ෂේත්‍ර‍යන්හි ව්‍යාපෘති කිහිපයක් 2015 වසර තුළ ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 750 ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, “පිබිදෙමු පොළොන්නරුව” යෝජිත දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ කඩිනමින් ආරම්භ කළ යුතු ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.