• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දූෂණ, අවපාලන හා අක්‍රමිකතා විමර්ශනය

- අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ හා එහි අනුබද්ධ ආයතනවල පසුගිය පස් වසරක කාලය තුළ සිදු වී ඇතැයි පැවසෙන දූෂණ, අවපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුව විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව අනුව අදාළ ආයතනවලට හා වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීමට හා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ශ්‍රී ලංගම බස්රථ ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක මුදලක් මෙතෙක් අය නොවීම;

* ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයුම්කාර ණය මත නව බස්රථ 2200ක් මිලට ගැනීමේදී ලැබිය යුතු වට්ටම නොලැබී යාම;

* ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බදු සහන පදනම මත ආනයනය කළ අමතර කොටස් මිල දී ගැනීමේදී අපේක්ෂිත ගුණාත්මකභාවය හා සහන නොලැබී යාම;

* ශ්‍රී ලංගම ලාංඡනය භාවිත කර පෞද්ගලික බස් රථ ධාවනය;

* පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ආනයනය කළ අධි සුඛෝපභෝගී බස් රථ 20ක් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ධාවනය කිරීම;

* උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී, ඉදි කිරීම්වල අධික පිරිවැය හා ඇස්තමේන්තු පිළිබඳ ගැටලු;

* මාතර - කතරගම දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී අධික පිරිවැයක් සහිත ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම;

* විධිමත් ක්‍රමවේදයෙන් පරිබාහිරව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බාහිර ආයතනවලට පැවරීම හා පුද්ගලයින්ට බදු දීම;

* පෞද්ගලික අංශය සමඟ දුම්රිය මැදිරි/විශේෂ දුම්රිය ධාවනය කිරීම, වෛස්රෝයි-2 විශේෂ දුම්රිය ධාවනයේදී සිදුවී ඇති පාඩු; සහ

* අබලි යකඩ විකිණීමේදී පිළිගත් ක්‍රමවේදයට පටහැනිව ක්‍රියා කිරීම.