• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවයෙන් ප්ලාස්මා මිල දී ගැනීම

- රුධිරය සඳහා මෙතෙක් වෙනත් ආදේශකයක් සොයා ගෙන නොමැති අතර රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගනු ලබයි. මෑතක් වන තුරු රුධිරය ‘පූර්ණ රුධිරය’ ලෙසම පාරවිලයනය කිරීමට පෙර පුරුදුව සිටියද මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. එක් රුධිර ඒකකයක් නිර්දේශිත පරිදි නිවැරදිව වෙන් කර ගන්නේ නම් එයින් සංඝටක 4ක් දක්වා ලබාගැනීමට හැකියාව ඇති බැවින් රෝගියෙකුට අවශ්‍ය කරන රුධිර සංඝටක කොටස පමණක් ලබා දී ඉතිරි සංඝටක කොටස් ඒවා අවශ්‍ය වෙනත් රෝගීන් සඳහා ලබා දීමට හැකියාව ඇත. ජාතික රුධිර පාරවිලයන සේවාව මඟින් සෑම වසරකම ප්ලාස්මා ලීටර 100,000 පමණ පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරනු ලබන අතර සංඝටක වෙන් කරගැනීමෙන් පසුව ඉන් ඒකක 60,000 ක් පමණ සායනික භාවිතය සඳහා ප්‍රයෝජනයට ගනු ලබයි. සංඝටක වැඩි ප්‍රමාණයක් වෙන් කරගැනීමට පහසුකම් නොමැති නිසා දැනට ඉවත දමනු ලබන ඉතිරි ලිටර 40,000 ක ප්‍රමාණය ප්ලාස්මා ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණය හිමි සමාගම්වලට ලබා දීමේ හැකියාව ඇත. තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම ප්ලාස්මා ප්‍රෝටීන අවශ්‍යතාවය, රුධිර සංඝටක වෙන් කර ප්ලාස්මා ප්‍රෝටීන නිපදවන විදේශීය සමාගම්/ආයතන වෙතින් විශාල පිරිවැයක් දරා ආනයනය කරනු ලබයි. ඒ අනුව, අතිරික්ත ප්ලාස්මා ප්‍රමාණය ප්ලාස්මා ප්‍රෝටීන නිෂ්පාදනය කිරීම සඳහා ලබා දීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.