• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය

- නැඟෙනහිර පළතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජගලතැන්න ඓතිහාසික අරියාකාර විහාරය ලජ්ජිතිස්ස රජු විසින් කරවන ලද විහාරයක් සේ සැලකේ. මෙම විහාර සංකීර්ණය, පබ්බත විහාර හා ආරාමවාසී විහාර යන විහාර දෙවර්ගයෙහිම සුසංයෝගයක් ලෙස සැලකෙන අතර, එහි නටබුන් අක්කර 1,025 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා විසිරී තිබේ. මෙම පරිශ්‍රයෙහි ඇති ස්තූපයක ශ්‍රී ලංකාවට බුදුදහම වැඩම වූ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති බවද සඳහන් වේ.

මෙහි ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථාන විනාශ මුඛයෙන් ගලවා ගෙන ඒවා සංරක්ෂණය කොට අනාගත තිරසර පැවැත්ම තහවුරු කිරීමේ සහ උරුම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අදහස ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස 2012 වර්ෂයේ සිට රජගල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 323.8 ක් වන අතර, ඇමෙරිකානු තානාපති අරමුදලින් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා දුන් අරමුදල්ද ඇතුළුව 2014 වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතිය වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් මිලියන 55.5 කි. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 268.3 ක් රජයේ ඒකාබද්ධ අරමුදලින් ලබාගැනීම පිණිස අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.