• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීගමුව නාගරික ප්‍රදේශය සඳහා අපජල කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාවේ අපජලය බැහැර කරන ආකාරය පිළිබඳව සලකා බැලීමේදී, සාමූහික අපජල කළමනාකරණ පද්ධතීන් හා සම්බන්ධ වී ඇත්තේ සමස්ත ජනගහනයෙන් 2.4%ක් පමණක් බවත් ජනගහනයෙන් බහුතරයක් කේවල සනීපාරක්ෂක පද්ධතීන් (එනම් එක් එක් නිවස සඳහා වෙන වෙනම ඉදි කරන ලද) පරිහරණය කරනු ලබන බවත් පෙනී යයි. පවතින සාමූහික සනීපාරක්ෂක පද්ධති බොහෝමයක් යල්පැන ගිය ඒවා වන අතර, ඒවා නිසි ලෙස නඩත්තු වීමක්ද සිදු නොවේ. එබැවින්, ඒවායෙහි කාර්යක්ෂම බව පහළ ගොස් ඇත. නිසි පරිදි පිරිපහදු නොකෙරුණු අපජලය ජලාපවහන මාර්ගයන් වෙත බැහැර කිරීමෙන් මහජන සෞඛ්‍යටත්, පරිසරයටත් අහිතකර බලපෑම් එල්ල වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීගමුව, ගාල්ල සහ කැලණිය-පෑලියගොඩ ප්‍රදේශ ආවරණය කෙරෙන සාමූහික අපජල කළමනාකරණ පද්ධති තුනක් (03) ස්ථාපිත කිරීම පිණිස ‘නාගරික සෞඛ්‍ය රක්ෂණ සහ සනීපාරක්ෂක මුලපිරීම් ව්‍යාපෘතිය’ (Sanitation & Hygiene Initiative for Towns - SHIFT) මඟින් කටයුතු ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ යුරෝ මිලියන 107 ක පිරිවැයකින් මීගමුව නාගරික ප්‍රදේශය සඳහා අපජල කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිත අතර, ප්‍රංශ සංවර්ධන ආයතනය (Agence Fiancaise De Development - AFD ) ඒ සඳහා යුරෝ මිලියන 76 ක මූල්‍යමය පහසුකමක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රතිපත්ති සම්පදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.