• Increase font size
  • Default font size
  • Decrease font size

2015-08-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් පරික්ෂා කර බලා වාර්තා කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත් කර ඇත. අදාළ ව්‍යාපෘතියේ උපදේශක සේවා සැපයීම සඳහා පත් කර ඇති සමාගමක් සම්බන්ධයෙන් එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ ඇතුළත් පහත සඳහන් කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය.

* තරඟකාරී ලංසු කැඳවීමකින් තොරව එකී සමාගම තෝරා ගෙන ඇති බව;

* උ‍පදේශක සේවා සැපයීම පිණිස තෝරා ගැනීමෙන් අනතුරුව, එකී සමාගම, සමාගමක් වශයෙන් සමාගම් ‍ රෙජිස්ට්‍රාර්වරයා යටතේ හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ලියාපදිංචි වී ඇති බව;

* අදාළ බලධාරින් විසින් එකී සමාගමේ සේවාවන් ලබාගැනීම පිණිස විධිමත් ගිවිසුමකට එළඹී නොමැති බව;

* සමස්ත ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා එකී සමාගමට රුපියල් මිලියන 606.032 ක් මුදලින් ගෙවීමට තීරණය කර ඇත. 2015‑05‑31 දින වන විට එම ආතනයට රුපියල් මිලියන 509.926 ක් (එය ගෙවිය යුතු මුළු මුදලින් 83% කි) ගෙවා ඇති නමුත් මේ වන විට ව්‍යාපෘතියේ මුළු වැඩ ප්‍රමාණයෙන් 30.02% ක් පමණක් අවසන් කර ඇති බව;

එකී උපදේශන සමාගම සම්බන්ධයෙන් නිලධාරි කමිටු වාර්තාවේ දක්වා ඇති ඉහත සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටත් එකී පරීක්ෂණයේ ප්‍රතිඵල මත යෝග්‍ය පරිදි නීත්‍යනුකුලව කටයුතු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.