• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයවැය පිළියෙල කිරීම - 2016

- පහත සඳහන් අරමුණු ඉටු කර ගත හැකි වන පරිදි 2016 වර්ෂය සඳහා වූ අයවැය පිළියෙල කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.

* අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් 5.5 % කට සීමා කිරීම.

* රාජ්‍ය ආයෝජන ප්‍රමාණය යටත් පිරිසෙයින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6 - 8% ක මට්ටමේ පවත්වා ගෙන යාම.

* පෞද්ගලික අංශයේ ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 22 -24% කට ගෙන ඒම දිරිමත් කිරීම.

* ආර්ථිකයේ සමස්ත ආයෝජන මට්ටම දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක මට්ටමට ඉහළ නැංවීම.

* 2016-2018 මධ්‍යකාලීන රාමුව තුළ 8% කට ඔබ්බෙන් වූ ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කරගැනීම.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ එකතු වූ නොපියවූ වගකීම් නිරවුල් කිරීමේ අභියෝගයද ජය ගනිමින් වඩාත් හිතකර භාණ්ඩාගාර කළමනාකරණයක් ඇති කරගැනීම සඳහා අයවැය සැකසීමේ සහ ක්‍රියාත්මක කිරීමේ මෙවලක් ලෙස 2016 වර්ෂයේ සිට ශුන්‍ය පාදක අයවැයකරණ (Zero Based Budgeting) ක්‍රමවේදය හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. එමඟින් රාජ්‍ය වියදම් නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, ආංශික පදනමක් (Sectoral Ceilings) යටතේ සම්පත් බෙදා වෙන් කරමින් 2016 අයවැය සකස් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා වන උපදෙස් හා මාර්ගෝපදේශ ඇතුළත් කරමින් “ 2016 අයවැය කැඳවීම චක්‍රලේඛය” නිකුත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත්, 2016 අයවැය සකස් කිරීම පිළිබඳ අමාත්‍යාංශ සමඟ පැවත්වෙන මූලික සාකච්ඡා 2015 අගෝස්තු මුල් සතියේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.