• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිඔය හා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

- වැලිඔය හා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන රැකියා වියුක්ත හා නැවත පදිංචි කරන ලද ජනතාවගේ ආදායම් හා ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ඇඟලුම් කරමාන්තශාලා හා ඒ ආශ්‍රිත කර්මාන්ත ඇති කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතියට අනුව කර්මාන්තශාලා ගොඩනැඟිලි ඉදිකිරීම ආයෝජකයින්ගේ අරමුදල් උපයෝගී කර ගනිමින් සිදු කළ යුතු වුවත් මෙම ප්‍රදේශ අයත්වන මුලතිව් හා මන්නාරම වැනි දුෂ්කර දිස්ත්‍රික්කවල එවැනි ගොඩනැඟිලි සඳහා ආයෝජනය කිරීමට ආයෝජකයින් දක්වන මැළිකම හේතුවෙන් මෙම කාර්යය සාර්ථකව ඉටු කර ගත නොහැකි වී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයෙහි රැකියා කිරීමට කැමැත්තක් දක්වන 2500 කට අධික ශ්‍රමිකයින් පිරිසක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර ඉන් 500 පමණ දෙනා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පුහුණු ශ්‍රමිකයින් වේ.

ඒ අනුව වැලිඔය හා මුසලි ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසවල හඳුනා ගත් භූමිභාගයන්හි කර්මාන්තශාලා 03 බැගින් රජය මඟින් ඉදි කර දීමටත්, ඒ සඳහා රජය විසින් දරනු ලබන වියදම රජයේ තක්සේරුව මත වූ බදු කුලියක් ලෙස දීර්ඝකාලීනව ආයෝජකයින්ගෙන් අය කර ගැනීමටත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.