• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලින් රුපියල් බිලියන 28 ක් අදාළ ණය විෂය පථයෙන් පරිබාහිර කාර්යයන් සඳහා ගෙවීම් සිදු කිරිම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් භාවිත කර ඇති බැවින් එම බැංකුවේ ණය මුදල් යටතේ දැනට ක්‍රියාත්මක මාර්ග ව්‍යාපෘති 24 කට අදාළ ගෙවීම් නිරවුල් කිරීම පිණිස 2015 වසර ඇතුළත අතිරේක ප්‍රතිපාදනයන් සඳහා අනුමැතිය ලබා ගැනීම

- ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගන්නා රුපියල් බිලියන 54.70 ක ණය පහසුකම් ප්‍රයෝජනයට ගෙන දිවයිනේ විවිධ පළාත්වල පිහිටි හඳුනාගත් මාර්ග ව්‍යාපෘති 28 ක් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. එම වැඩසටහන යටතේ ලබා ගෙන ඇති රුපියල් බිලියන 28 ක මුදලක් අදාළ මාර්ග ව්‍යාපෘති පුනරුත්ථාපන කටයුතුවලින් පරිබාහිර වෙනත් කාර්යයන් සඳහා යොදා ගෙන ඇති බැවින් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන අතර ඒ පිළිබඳව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතද පැමිණිලි කර ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගෙන ඇති අරමුදල් එකී ණය මුදල ලබාගත් අරමුණින් පරිබාහිර කාර්යයන් සඳහා යොදා ගැනීම හේතුවෙන් අදාළ මාර්ග ව්‍යාපෘතිවල පුනරුත්ථාපන කටයුතු ඇණහිට ඇති අතර එකී ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට හා එම ව්‍යාපෘතිවල වැඩ නැවත ආරම්භ කිරීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.