• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගීන් සඳහා පොළොන්නරුවේ ඉදි කිරීමට යෝජිත රෝහල් සංකීර්ණය සඳහා ඉඩම් පවරා ගැනීම
- ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත නිදන්ගත වකුගඩු රෝගය බෙහෙවින් ප්‍රචලිතව පවතින ප්‍රදේශයකි. මෑත කාලීන සංඛ්‍යාලේඛන අනුව පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු සායනයේ පමණක් 2,500 කට ආසන්න වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිති. ශ්‍රී ලංකා ජනරජය හා මහජන චීන සමූහාණ්ඩුව අතර 2015 වසරේදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමකට අනුව පොළොන්නරුව මහ රෝහල සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වකුගඩු රෝග ප්‍රතිකාර පිණිස වූ රෝහල් සංකීර්ණයක් යුවාන් මිලියන 600 ක (රුපියල් මිලියන 12,840 ක් පමණ) වියදමින් ඉදි කර දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟ වී ඇත.

එහෙත් මෙම ඉදි කිරීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් ඊට ආසන්නයේ පිහිටා ඇති පොළොන්නරුව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති කාර්යාලය පිහිටා ඇති හෙක්ටයාර 7.27 ක ප්‍රමාණයකින් යුත් ඉඩම පවරාගෙන ඒ සඳහා යොදා ගැනීමටත්, පොළොන්නරුව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය එහි දැනට ඇති පහසුකම් හා ධාරිතාව අඩු නොවන පරිදි ප්‍රදේශයේ සුදුසු වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.