• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණ සමය තුළ රාජකාරි නොවන පරිබාහිර කටයුතු සඳහා දරා ඇති වියදම්
- පසුගිය ජනාධිපතිවරණ සමය තුළ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විසින් දරා ඇති වියදම් සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

* ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් රථ හිමිකරුවන්/ රියැදුරන්/කොන්දොස්තරවරුන් සහ හිටපු ජනාධිපතිතුමා සමඟ පැවති හමුවක් සඳහා රුපියල් මිලියන 8.2 ක් වැය කර ඇත.

* දේශපාලන රැස්වීම් සඳහා මහජනතාව සහභාගි කරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 50 ක අත්තිකාරම් මුදලක් පමණක් ගෙවා ඇත. ඒ වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් ගෙවා නොමැති රුපියල් මිලියන 142.5 ක් අය කරගැනීම පිණිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් වෙත බිල්පත් ඉදිරිපත් කර ඇති නමුත් මේ දක්වා එම බිල්පත් පියවීමට පියවර ගෙන නොමැත.

* ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශාලිකා ක්‍රීඩාංගණය දේශපාලන කටයුතු සඳහා යොදා ගෙන ඇති අතර ඒ හේතුවෙන් ක්‍රීඩාංගණය කඩතොළු වීම සහ තාප්පයේ අඩි 50 කට ආසන්න ප්‍රමාණයක් කඩා ඉවත් කිරීම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස සැලකිය යුතු වියදමක් දැරීමට සිදු වී ඇත.

ඉහත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන අදාළ හිඟ මුදල් අය කරගැනීමට සහ සිදු කර ඇති අලාභ සඳහා වන්දි ලබාගැනීම පිණිස අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට තීරණය කරන ලදී.