• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යොවුන් සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග
- පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් අන්තර්ජාතික සම්මූතීන් තුළින් මෙන්ම දේශීය වශයෙන් සම්මත කරන ලද අණපනත් මඟින්ද ළමුන්ගේ හා යෞවනයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. දැනට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25% ක් පමණ තරුණ ජනගහනය නියෝජනය කරන අතර මෙම වයස් සීමාව තුළ ඇති වන ශාරීරික හා මානසික වෙනස්වීම් මත ඇතැම් විට අනතුරුදායක කාර්යයන් කෙරෙහි ඔවුන් තුළ වැඩි නැඹුරුවක් ඇති කරනු ලබයි. එය රටේ ආර්ථික හා සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන අතර එම තත්ත්වය වැළැක්වීම සඳහා යෞවනයින් වෙනුවෙන් ප්‍රමාණවත් උපදේශන සේවා, පෝෂණ වැඩසටහන්, ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීම වැනි සෞඛ්‍ය සේවා සැපයීම තුළින් සෞඛ්‍ය සම්පන්න තරුණ මෙන්ම වැඩිහිටි පරපුරක් රට තුළ බිහිකිරීමට හැකියාව ඇත. සෞඛ්‍ය හා සම්බන්ධ අනෙකුත් ප්‍රතිපත්තීන් වන මාතෘ හා ළමා ප්‍රතිපත්තිය, ජාතික පෝෂණ ප්‍රතිපත්තිය, ජනගහන හා ප්‍රජනන සෞඛ්‍ය ප්‍රතිපත්තිය, ජාතික HIV/AIDS වැළැක්වීමේ ප්‍රතිපත්තිය සහ බෝ නොවන රෝග වැළැක්වීමේ ප්‍රතිපත්තිය යන ප්‍රතිපත්තීන් සහ වැඩසටහන් සමඟ සෘජු සබඳතාවයක් දක්වන යොවුන් සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.