• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2015 කාල පරිච්ඡේදය තුළ දී අග්‍රාමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් විසින් සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීම
- අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා නිල වාහන වෙන් කර දී ඇති ඒ හා සමාන පුද්ගලයින් විසින් 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා සිය නිල වාහන පාවිච්චි කරනු ලබන්නේ නම් ඒ සඳහා නියමිත ගාස්තු අදාළ අමාත්‍යාංශවලට ගෙවිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවකදී එකඟ වී ඇත. ඒ අනුව අය කළ යුතු ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කිරීම සුදුසු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද යෝජනාව පරිදි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් නිර්දේශයන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා, විපක්ෂ නායකතුමා, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායකතුමා, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව තමන් විසින් දරන ලද තනතුරට හිමි වරප්‍රසාදයක් වශයෙන් රජය විසින් හෝ පළාත් සභා විසින් සපයනු ලබන නිල වාහන පරිහරණය කරනු ලබන තැනැත්තන් විසින් එකී නිල වාහන 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා යොදා ගනු ලබන්නේ නම් එක් වාහනයක් සඳහා රුපියල් 100,000/-ක මාසික ගාස්තුවක් ගෙවිය යුතුය.

සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා නිල වාහන පරිහරණය කිරීමේදී ඒ සඳහා වන ඉන්ධන වියදම්ද සිය පෞද්ගලික මුදලින් දැරිය යුතුය.

සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා ගුවන් යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සඳහා වන සියලුම වියදම් පෞද්ගලිකව දැරිය යුතුය.

නිල වාහන සඳහා වන ගාස්තු සිය අමාත්‍යාංශයට/පළාත් සභාවට/ අදාළ බලධාරින්ට ගෙවිය යුතු අතර ගුවන් යානා හෝ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනවලට ගෙවිය යුතුය.