• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ ශක්ති අරමුදල ප්‍ර‍තිව්‍යූහගත කිරීම
- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තේ ශක්ති අරමුදල කුඩා තේ වතු හිමියන්ගේ කේවල් කිරීමේ බලය ශක්තිමත් කිරීමේ මූලික අරමුණින් යුතුව 2000 අංක 47 දරන පනත මඟින් පිහිටුවනු ලැබ තිබේ. තේ කර්මාන්තශාලා ව්‍යාපෘතිය, පොහොර ව්‍යාපෘතිය, දේශීය තේ අලෙවි ව්‍යාපෘතිය සහ කුඩා තේවතු හිමියන්ගේ සුබ සාධන රක්ෂණ ව්‍යාපෘතිය වශයෙන් ව්‍යාපෘති 04ක් මෙම අරමුදල මඟින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. තරගකාරී මිලක් ලබා ගැනීමට හැකි වන පරිදි සිය තේ නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය යන්ත්‍ර‍සූත්‍ර සහ වැඩ පරිචයන් වැඩි දියුණු කිරීමට ප්‍ර‍මාණවත් කාරක ප්‍රාග්ධනයක් සැපයිය හැකි නම් තේ ශක්ති කර්මාන්තශාලා ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ආයතනික ප්‍ර‍තිව්‍යූහගත කිරීමේ කටයුතු දැනටමත් අරඹා ඇති අතර කර්මාන්තශාලා නවීකරණය හා ඉදිරි කාරක ප්‍රාග්ධනය සැපයීම යන අවශ්‍යතා සපුරා ගැනීම මඟින් අරමුදල ලාභ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය අතිරේක අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් තේ ශක්ති අරමුදල ‍වෙත ලබා ගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.