• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝපීය සංගම් මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවා ගැනීම සඳහා වන ක්‍රියාත්මක සැලැස්මේ වර්තමාන ප්‍රගතිය
-2014 වර්ෂය වන විට ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන සැපයුම්කරුවකු බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාව 2014 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 5,552 ක මත්ස්‍යන් සහ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කළ අතර එමඟින් ඉපයූ ආදායම රුපියල් මිලියන 9,103 කි. යුරෝපා සංගමය විසින් 2010 වර්ෂයේදී නීතිවිරෝධී, නියාමනය නොකරන ලද හා වාර්තා නොකරන ලද ධීවර කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාව ඇතුළු මත්ස්‍ය අපනයනයෙහි නිරත රටවල් කිහිපයකට විශේෂ නියමයන් නිකුත් කළ අතර, ඉන්පසුව 2015 ජනවාරි 15 වන දින යුරෝපා සංගමයේ රටවලට මත්ස්‍ය අපනයනය කිරීම සම්බන්ධයෙන් තහනමක් පනවන ලදී. මෙම ගැටලුව විසඳීම පිණිස ක්‍රියාකාරි සැලස්මක් සකස් කර ඇති අතර, එහි ඉලක්ක 36 කින් හා විසඳිය යුතු ප්‍රශ්න 21 කින් සමන්විත වන ප්‍රධාන විශේෂ කාර්ය 57 ක් ඇතුළත් වේ. එම ඉලක්ක 36 අතුරින් ඉලක්ක 30 ක් ශ්‍රී ලංකාව විසින් දැනටමත් සම්පූර්ණ කර ඇති බවටත්, ඉතිරි ඉලක්ක නුදුරේදීම සම්පූර්ණ කරනු ඇති බවටත්, විසඳිය යුතු ප්‍රශ්න 21 සම්බන්ධයෙන් මේ දක්වා සැහීමකට පත් විය හැකි ආකාරයේ ප්‍රගතියක් ලබා ඇති බවටත්, එම ප්‍රගතිය යුරෝපා සංගමයට මාසිකව වාර්තා කෙරෙන බවටත්, ක්‍රියාකාරී සැලස්මේ ප්‍රගතිය සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් 2015 මැයි මස 15 සහ ජුනි මස 30 වන දින යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර ඇති බවටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් අවධානය යොමු කරනු ලදුව, ශ්‍රී ලංකාව මෙම ගැටලුව සම්බන්ධයෙන් සාර්ථකව කටයුතු කර ඇති බැවින් යුරෝපා සංගමය විසින් පනවනු ලැබ ඇති තහනම 2016 වර්ෂය වන විට ඉවත් කරගැනීමට හැකි වනු ඇති බව සැලකිල්ලට ගන්නා ලදී.